බිඟුන් මේනක ගමගේ
වැරැදි රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාදී එය රෝගියාගේ ඇඳඉහපත් ගොනුවෙන් අස්ථානගත කළ සිදුවීමක් ගැන කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික රසායනාගාරයක් මගින් නිකුත් කර ඇති මෙම වැරැදි රුධිර පරීක්ෂණ වාර්තාව රෝගියාගේ ඇඳඉහපත් ගොනුවෙන් අස්ථානගතව ඇති බවට ඔහුගේ දියණිය වන නිමාලි පියතිස්ස මහත්මිය රෝහල් අධ්‍යක්ෂවරයාට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
පවුලේ වෛද්‍යවරයා රෝගියාට කළ නිර්දේශයක් මත ඉලෙක්ට්‍රොලයිට්ස් සේරම් නමැති පරීක්ෂණය අදාළ පෞද්ගලික රසායනාගාරයෙන් කළේ යැයි ද පසුව වකුගඩු සම්බන්ධ වෛද්‍යවරයකු විසින් වාර්තාව පරීක්ෂා කර තම පියාගේ ජීවිතය අවදානම් මට්ටමක ඇති බැවින් වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලෙස උපදෙස් දුන්නේ යැයි ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම වාර්තාව වැරැදි වාර්තාවක් විය යුතු යැයි ද එසේ නොවේ නම් රෝගියා මිනිත්තු දහයක් වැනි කාලයකදී මිය යා යුතු යැයි ද අදාළ පරීක්ෂාව කළ වෛද්‍යවරයා පැවැසී යැයි ද ඒ අනුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අදාළ වාර්තාවේ දත්ත මත තම පියාට පොටෑසියම් ලබාදීමට රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කළේ යැයි ද නිමාලි පියතිස්ස මහත්මිය එහි සඳහන් කර ඇත.
පසුව රෝහලෙන් ද ඉලෙක්ට්‍රොලයිට්ස් සේරම් පරීක්ෂණය කළේ යැයි ද එහිදී පළමු වාර්තාවේ වැරැදි දත්ත මත ප්‍රතිකාර කිරීමට සිදුවීම නිසා තම පියාගේ සිරුරේ පොටෑසියම් අගය හෘදය අක්‍රීය වන තරමට ඉහළ ගොස් තිබුණු බවට වෛද්‍යවරුන් පැවැසී යැයි ද එම පැමිණිල්ලේ කරුණු සඳහන් කර ඇත.
අනතුරුව අදාළ වැරැදි වාර්තාව සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් පෞද්ගලික රසායනාගාරයෙන් කරුණු විමසීමෙන් පසුව එහි කළමණාකාරිත්වය තමාට දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් එම වාර්තාව ඉල්ලාසිටියේ යැයි ද එහි සඳහන් වේ.
කෙසේ වෙතත් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි තම පියාගේ සුවදුක් බැලීමට තමා පසුව ගියවිට අදාළ වාර්තාව ඇඳඉහපත් ගොනුවෙන් අතුරුදහන්ව තිබුණේ යැයි ද නිමාලි පියතිස්ස මහත්මිය රෝහල් අධ්‍යක්ෂවරයාට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

