(ගම්පහ තිලකරත්න දිසානායක)
නයි පනික්කියෙකු ලවා පොළඟකු දෂ්ට කිරීමට සලස්වා සිය බිරිඳ මරා දැමීමට සැලසුම්කර දෙවරක් බිරිඳගේ ඇඟට පොළඟා දැමීමට සැලැස්වූ සැමියෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
අද (30) පෙරවරුවේ තම නිවසේ සිටියදී මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ ගම්පහ නගරයට නුදුරින් පිහිටි ප්‍රදේශයක පදිංචි 52 හැවිරිදි එක් දරු මවකි.
ඊයේ පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇමතුමකින් දැනුම්දී ඇත්තේ තම සැමියා විසින් සර්පයෙකු ඇඟට දමා තමාව මරා දැමීමට තැත් කළ බවයි.
මෙම ඇමතුමට අනුව ගම්පහ පොලිසිය දැනුවත්කර ඇති අතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා නිලධාරීන් කිහිපදෙනෙකු සමග වහාම අදාළ නිවස වෙත ළඟාවී ඇත.
මෙහිදී සිද්ධියට මුහුණ පෑ එක් දරු මව පොලිස් පරීක්ෂකවරයා හමුවේ සිදුවීම පැවසීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් නිවස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී නිවසෙහි කාමරයක් තුල සැඟව සිටි නයි පනික්කියා අල්ලා ගැනීමට හැකිව ඇත.
මේ අනුව පනික්කියාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ තමාට රුපියල් 25,000ක මුදලක් ලබාදීමට පොරොන්දු වීම මත නිවසේ හිමිකරු සමග පැමිණ තමා විසින් රැගෙන ආ පොළඟා ඇඟට දෙවරක් දැමුවද ඌ දෂ්ට නොකළ බවයි.
අනතුරුව ඇය කෑගැසීම නිසා ගෙහිමියා කාරයේ නැගී යනු දුටු බවත් පසුව පොළගා අල්ලා පෙට්ටියට දමාගෙන තම නිවසෙහි කාමරයක් තුළ සැඟවුණු බවත් පනික්කියා පොලීසියට පවසා ඇත.
බිරිඳ පොලීසියට පැමිණිලිකර ඇත්තේ මීට පෙරද නිවසේදී තමන්ට සර්පයෙකු දෂ්ට කිරීම මත තවමත් ප්‍රතිකාර කරන බවයි.
වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා මීට සතියකට පමණ පෙර තමන්ට හමුවී රුපියල් 25,000 ක මුදලක් ලබාදීමට පොරොන්දු වීම මත පොතුහැර ප්‍රදේශයෙන් පොළඟෙකු අල්ලාගෙන විත් ඊයේ උදෑසන ගම්පහ දුම්රිය ස්ථානය අසළදී හමුවී නිවසට ගොස් මෙලෙස කටයුතු කළ බවය.
52 හැවිරිදි සැමියා මේ වනවිට පළා ගොස් ඇති අතර ඔහුගේ මෝටර්රථය අසළ නිවසක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන ඇති අතර ඒ තුළ පනික්කියාගේ නයෙකු සහිත නයි පෙට්ටියක්ද තිබී ඇත.

