පොලිසියේ උසස්වීම් ක්‍රමවේදය වෙනස් වෙයි


(තරිඳු ජයවර්ධන)

ශ්‍රී ලංකා පොලිසිසේ සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගේ පත්වීමේ සහ උසස්වීම් කාලරාමුව වෙනස් කිරීමට නීතිය හා සාමය අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබී ඇති නිසා සහකාර පොලිස් අධිකාරී නිලයේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා නිලධාරීන් 180කගේ පමණ ජ්‍යෙෂ්ඨත්වය අද (30) පෙරදාතම කරන බව පොලිස් මූලස්ථානය කියයි.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී නිලයේ සිටින නිලධාරීන් 89 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලැබෙන බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරුන් 14 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලැබෙන බවත් පොලිසිය පවසයි.

පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරුන් තුන්දෙනකු පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබන බවත්, ඊට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් තවත් පිරිසකගේ පත්වීම පෙරදාතම වන බවත් පොලිසිය කියයි.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 45 දෙනකුගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනකුගේ ද උසස්වීම් පෙරදාතම වන බව පොලිසිය සඳහන් කරයි.

මෙම නව ක්‍රමවේදය ජාතික පොලිස් කොමිසන් සභාවෙන් සකස් කර ඊට අනුමැතිය ලබා දී නීතිය හා සාමය අමාත්‍යංශයට යවා තිබුණු අතර නීතිය හා සාමය අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා ද එය අනුමත කර පොලිස් මූලස්ථානයට එවා තිබිණි. ඒ අනුව මැතිවරණ සමයක මෙය ක්‍රියාත්මක කරන නිසා මැතිවරණ කොමිසමේ අනුමැතියද ලබා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ පෙරදාතම වන විශේෂ පොලිස් පණිවුඩය සහ උසස්වීමේ නියෝගය අද (30) පෙරවරුවේ පොලිස්පතිවරයා විසින් නිනුක් කරනු ලබන බව එම පොලිස් නිලධාරියා පැවසීය.

උසස්වීම් ලබන පිරිස අතර කාන්තා පොලිස් අධිකාරීවරියක ද වන්නීය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයකට උසස් වන තුන්වැනි කාන්තාව ඇය බව ජාතික පොලිස් කොමිසන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් නිලය දක්වා මීට අදාල උසස්වීම් ඉදිරියේදී කිරීමට නියමිත බව ද පොලිසිය කියයි.