පොලිස්පති වෙනුවෙන් සාක්කි දෙන්න ආපු 8ක් හැරී යති


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


පොලිස්පති  දේශබන්දු  තෙන්නකෝන්මහතා   වෙනුවෙන්  සාක්ෂිකරුවන් 15  දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතව සිටියත් සාක්ෂි  දුන්නේ  ඉන් හත් දෙනකු පමණි

පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර් එස් වීරවික්‍රම මහතා සෙසු අට දෙනාගෙන්  සාක්ෂි නොවිමසන බව දැනුම් දීමෙන් කමිටුව එම සාක්ෂිකරුවන්  අද (25)  මුදා හැරියේය.

මේ අනුව පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන්  මැතිසභා කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම අද   අවසන් විය.

පරීක්ෂණ කමිටුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන මස 1 වැනිදාය. පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සහභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) පෙරවරුවේ රැස්විය.

රාජකාරිය කටයුත්තකට විදේශගතව සිටින  පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්ෂි ලබාදීම  අද(26) දිනෙන් පසු  කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා යන මහත්වරු දැනුම් දුන්හ. ඒ අනුව එම සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් ලබන මස 1 වැනිදා සාක්ෂි ගැනීමට තීරණය කෙරිණ.

අනතුරුව දෙපාර්ශවයෙන්ම ලිඛිත දේශන ලබන මස 8 වැනිදා පස්වරු 3.30ට  පෙර පරීක්ෂණ කමිටුවට බාරදීමට දෙපාර්ශ්වය එකඟ වූහ.