(ලලිත් නවරත්න)
මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ ඩීසී පොල් නිෂ්පාදන ආයනයක ආරක්ෂා සේවයේ යෙදී සිටි ආරක්ෂක නිළධාරීයෙකු අද (11) ඝාතනය කර සේවකයින් හට ගෙවීමට කාර්යාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 13ක මුදලක් කොල්ල කා ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ආයතනයේ ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවය කරනු ලබන හලාවත විජයකටුපත පදිංචි කනහැර මුදලිගේ සුරාජ් ඉන්දික නැමති 45 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු වසර කීපයක සිට මෙම ආයතනයේ ආරක්ෂක නිළධාරියකු ලෙස සේවය කරඇති අතර සිද්ධිය සිදුවන දිනද කාර්යාලයේ ඉදිරිපිට ඇති ආරක්ෂක කුටියේ සිට සේවය කර ඇති අතර අද ප ව 12 00 වන විටත් ඔහුගේ දුරකථනයේ ගීත වාදනය වෙමින් තිබුන බව පොලීසිය පවසයි.
තවද ආරක්ෂක කුටියට ඉදිරිපසින් ඇති මිදුලේ පුටුවක් කැඩී වැටී ඇති අතර කොසුමිටක්ද කැඩී තිබියදී පොලීසිය විසින් සොයාගන ඇත.
එම කාර්යාලයට මදක් පිටුපසින් මරණකරුගේ මෘත ශරීරය වැටී තිබූ අතර හිසේ මරාන්තික දරුණු තුවාලයක් තිබූ අතර එහි අසල යකඩ අලවංගුවක් තිබී සොයාගෙන ඇත. මෙම ඝාතනය සිදුකිරීම සඳහා මෙම අලවංගුව යොදාගන ඇති බවට පොලීසිය සැක කරයි.
ඝාතනය සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ පුත්තලම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් එස් ඒ සබ්බ්‍රි මොහොමඩ් මහතා මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් සහ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙම ඝාතනයට වගකිව යුත්තන් සොයා ඔවුන්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කලේය.