(ඩයනා උදයංගනී)
පාසල් පෙළ පොත්වලින් දරුවන්ගේ හිත් තුළට ඇතුළු කරන මතවාදයන් ගැන කඩිනමින් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (27) පැවසීය.

මෙම යුගයේදී විශේෂයෙන්ම දරුවන්නේ හිත් තුළට ඇතුළු කරන්නේ මොනවද යන්න ගැන ප‍්‍රවේසම් විය යුතු බව කී අගමැතිවරයා විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන මෙරට අධ්‍යාපන ක‍්‍රමයට බොහෝ සියුම් ලෙසින් මැදිහත් වී තිබෙන බව ද සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ වවුනියාවේ ඉරට්ටපෙරියකුලමේදී අද (27) පැවති සමස්ත ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘ විශේෂයෙන්ම මේ අපි ළමයින්ගේ හිත් තුළට දාන්නේ මොනවද කියන එක ගැන ප‍්‍රවේසම් වෙන්න ඕන යුගයක්. විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක‍්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියනවා. මේ රටේ ප‍්‍රධාන පෙළේ විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා. ඒකත් එක්කම සමහර අච්චු පොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව ගිහි සංවිධාන පෙන්වලා දුන්නා. සිංහල අලූත් අවුරුද්දත් සමහර පොත්වලින් හලළා.
අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල, දෙමළ, ක‍්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන්, ළමුන් සහ ගුරුවරුන්, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා. ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කිහිපයක් ගත වුණාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස්වෙලා. පාසල්වල භාවිතා වන පෙළ පොත්වලින් ළමුන්ගේ හිත් තුළට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’’

