පෙට්‍රල් හිඟයක් ඇතිවන්නේ නැහැ


(ඩයනා උදයංගනී)

මෙරට පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නැතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

නුදුරු දිනක දී ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති වන බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති පුවත්වල කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

රට තුළ මේ වන විට දින 30කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින බවත් මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් සහිත නැවක් තවත් දින 13කින් එනම් ජූලි 19 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එබැවින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බවට පැතිරෙන ප්‍රචාර සම්බන්ධයෙන් ජනතාව කලබල වීමට අවශ්‍ය නැතැයිද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.