(විමුක්ති එස් රුද්‍රිගු)
පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්‍රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව ඇත.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් සිංහ තාරකා මණ්ඩලයේ පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයේ වායුගෝලයෙන් මෙම සාක්ෂිය හමුවී තිබේ.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් දත්ත භාවිතා කරමින් ආචාර්ය මධුසුදන් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායම මෙම සොයාගැනීම සිදුකර ඇත.
සෞරග්‍රහ මණ්ඩලයකට අයත් නොවන කේ2-18බී නම් මෙම ග්‍රහලෝකය රතු වාමන තාරකාවක් වටා කක්ෂගතව ඇති බවත් එහි උෂ්ණත්වය පෘථිවියේ උෂ්ණත්වයට සමාන බවත් ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රකාශ කළේය.
කේ2-18බී ග්‍රහලෝකය රතු වාමන තාරකාවකට ඉතා සමීපව කක්ෂගතව ඇති බැවින් එහි අවුරුද්දකට තිබෙන්නේ දින 33 ක් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.
කේ2-18බී ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් නම් රසායනික සංයෝග තිබෙන බවට සාක්ෂි හමුවූ බවත් එම රසායනික සංයෝග නිපදවනු ලබන්නේ ෆයිටොප්ලැන්ක්ටන් නම් කුඩා මුහුදු පැළෑටිවලින් බවත් ඔහු පැවැසුවේය.
එය මෙතෙක් පෘතුවියෙන් පිටත ජීවය තිබෙන බවට හමුවූ ප්‍රබලතම සාක්ෂිය බවත් එහෙයින් කේ2-18බී ග්‍රහලෝකය සාගරයකින් වැසී තිබෙන බවට විශ්වාස කෙරෙන බවත් ඔහු සඳහන් කළේය. එසේම කේ2-18බී ග්‍රහලෝකය පෘථිවියට වඩා 2.6 ගුණයකින් විශාල වන බවත් 8.6 ගුණයක ස්කන්ධයකින් යුක්ත බවත් ඔහු ප්‍රකාශ කළේය.
කේ2-18බී ග්‍රහලෝකය පෘථිවියට වඩා දහස් ගුණයකින් ශක්තිමත් බවට ඇස්තමේන්තු කර ඇතැයිද ඔහු පැවැසුවේය.
කෙසේ නමුත් ලබාගත් තොරතුරු තහවුරු කර ගැනීමට තවදුරටත් නිරීක්ෂණ සිදුකළ යුතු බව ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රකාශ කළේය.