පූජිත්-හේමසිරි එරෙහි පෙත්සම විභාගයට අවසර


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව පවරා  තිබූ නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

මෙම පෙත්සම විභාගය ජූලි 4 වැනිදා සිට පුරා දින 5 ක් පැවැත්වීමට නියමිතය.මෙම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු බව චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන්ට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.පසුව මෙම නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරිණ.

ඉන් අගතියට පත් නීතිපතිවරයා විසින් විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.මහාධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස නීතිපතිවරයා මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.