පුහුණු අධිකාරියේ ’’ටැබ්’’ 950ක් නිලධාරීන්ම බෙදාගෙන


(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට දුරකතන සේවා  සමාගමකින්  2018 සහ 2021 වසරවලදී   ලබාදී තිබු ටැබ් පරිගණක යන්ත්‍ර 950 ක් සහ  සිම්පත්  කිසිදු අනුමැතියකින් තොරව එම අධිකාරියේ විවිධ තනතුරු දරන නිලධාරීන් බෙදා ගෙන තිබූ  බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සේවයෙන්  ඉවත්වූ  නිලධාරීන් 35 දෙනකුගෙන් ටැබ්  පරිගණක යන්ත්‍ර  ආපසු ලබා ලබාගැනීමට කටයුතු කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව ආයතනයේ අධ්‍යක්ෂ තනතුරට බඳවා ගෙන ඒ අරමුණට පරිබාහිර  කාර්යභාරයක් ඉටු කරමින් සිටි නිලධාරියකුට 2021  ජූලි සිට 2022 අගෝස්තු දක්වා  රුපියල් ලක්ෂ විසි එකකට වැඩි වැටුප් හා දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර නිපුණ  ශිල්පීන් ලක්ෂයක ගෙන් යුත් බහු කාර්ය සාධන බළකායක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා  ලක්ෂ 47 ක පමණ මුදලකින් ස්ථාපනය කර ඇති පරිගණක පද්ධතිය 2022 දෙසැම්බර් 31 වැනිදා  වනවිටත් ක්‍රියාත්මක තත්වයෙන් නොපැවතුණ  බව පවසන එම කාර්යාලය මෙම පාඨමාලාවේ පුහුණුලාභීන්ට  සහතිකපත් 32,505ක් නිකුත් කිරීමෙන් තොරව අධිකාරියේ රඳවාගෙන තිබූ බව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ  2021 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.