( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු පුවත්පත් කර්තෘවරයකු වන මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සළකා බැලීම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සිදු කිරීමට අභියාචනාධිකරණය සභාපති යසන්ත කෝදාගොඩ මහතා අද (2) තීරණය කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එම විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙංගප්පූලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරු එම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කර;s.
එම විනිසුරු මඬුල්ල හමුවේ අදාළ පෙත්සම අද පෙරවරු 11.30 ට කැඳවීමට නියමිතය.
මාලින්ද සෙනවිරත්න මහතා සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 26 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන යොදමින් සිරකරුවන් හතර දෙනෙකු එල්ලා මැරීමට තීන්දු කළ බව දැනගන්නට ලැබුණ බවය, එය ඉක්මණින් ක්‍රියාත්මක වන බවත්, මේ වනවිට ඊට දින තීන්දු වී ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වූ බවය.
ජනාධිපති තීරණය තමන් අභියෝගයකට ලක් නොකරන බවත්, පුද්ගලයින් එල්ලා මැරීම වනචාරී ක්‍රියාවක් සේම, අත්සන් යෙදීම නිසා බන්ධනාගාර නිලධාරීන් විසින් ඉක්මන් කරනු ඇතැයි ද පෙත්සම්කරු කියා සිටී. එල්ලා මරණ දවස තමා නොදන්නා නමුත් එම එල්ලා මැරීම් මේ සති අන්තයේ දී සිදුවිය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.
එහෙයින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා හා අලුගෝසුවා විසින් පුද්ගලයින් එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සිටියි.

