පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු


(ඩයනා උදයංගනී)

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් ඉදිරි දිනවලදී සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, වයඹ, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල මිලිමීටර 100ත් 150ත් අතර වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 150ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින  අඩු පීඩන කලාපය ඉදිරි පැය 24  පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කරන අතර ඉදිරි පැය 48 තුළ සුළි කුණාටුවක් බවට පත්ව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසූරිය මහත්මිය පැවසුවාය.

දිවයින හරහා ද පැයට කිලෝමීටර 50 - 60 පමණ වේගවත් තද සුළං ඇතිවන අතර  විටින් පැයට කිලෝමීටර 70 පමණ වේගවත් ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි බව ද ඇය ප්‍රකාශ කළාය.

මෙම තත්ත්වයේ බලපෑම ලබන මස 1 වැනිදා පමණ වන තුරු ශ්‍රී ලංකාවට පවතින අතර මෙම මස 30 වැනිදා පමණ එම සුළි කුණාටුව උතුරු තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරනු ඇතැයි ඇය සඳහන් කළාය.

මේ හේතුවෙන් නැගෙනහිර මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දී එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කරයි.

විශේෂයෙන් හම්බන්තොට සිට කන්කසන්තුරය දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීම අවදානම් සහගත බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවරයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

දිවයින වටාවන මුහුදු ප්‍රදේශයන් ද විටින් විට රළු විය හැකි බැවින් ඉදිරියේ දී නිකුත් කරන කාලගුණ විද්‍යා නිවේදන ගැන අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම්දීමක් කරයි.