
(ඩයනා උදයංගනී)
සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ මාතර දිස්ත්‍රික්කයේ පිළිකා කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන “පැලියේටිව් කෙයාර්” සත්කාරක භාරය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (19) සිදුවූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ පැලියේටිව් කෙයාර් භාරයේ ප්‍රධානී වෛද්‍ය සමාධි රාජපක්ෂ මහත්වරු ඊට අත්සන් තැබූහ.
සෑම පැයකදීම මෙරට ජනතාව අතරින් සිව් දෙනකු පිළිකා රෝගීන් ලෙස හඳුනාගැනෙන අතර දිනකට බෝනොවන රෝග වලින් මියයන පිරිස අතරින් දෙදෙනෙකු පිළිකා රෝගීන් බවට ද සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇත.
එම තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීමේ සහ රෝගීන් කලින් හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමුකිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පිළිකා වැළැක්වීම, පාලනය, ප්‍රතිකාර සේවා සහ රෝගීන් කල්තියා හදුනා ගැනීමේ සේවාවන් ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය කටයුතු ඒ යටතේ විධිමත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී පැවසුවාය.

