පිරිවෙන් ගුරුවරුන්ට විශ්‍රාම වැටුප්


(අංජුල මහික වීරරත්න)

පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය.

ඒ සඳහා විශ්‍රාම වැටුප් පනත සහ පිරිවෙන් අධ්‍යාපන පනතේ ද  සංශෝධන සිදු කළ යුතු බවත්, ඊට අදාල යෝජනා සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25න් 22ක් පුරා විහිදුණු මූලික, මහා, විද්‍යායතන, ද්වි භාෂා සහ සීල මාතා වශයෙන් ප්‍රධාන අංශ පහකින් සමන්විත පිරිවෙන් 822ක් ඇති බවද ඒවායේ  සාමණේර ස්වාමීන්වහන්සේලා 40941ක් සහ ගිහි ශිෂ්‍යයන් 36990ක් අධ්‍යාපනය ලබමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
 පිරිවෙන් ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් 7591 ක් ද ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩලයේ 8000කට අධික පිරිසක් සේවය කරනු ලබන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.