පියාගේ වෙළෙඳසැල බින්ද පුතා-මිතුරා අත්අඩංගුවට




(දයාරත්න ඇඹෝගම)
 
නොච්චියාගම , කකුල්කටුවේ පිහිටි තම පියාගේ ව්‍යාපාරික ස්ථානය කඩා බිඳ දමා එහි තිබු රුපියල් නවලක්ෂ හාරදහස් එකසියයක් වටිනා මුදල් හා දේපොළ  සොරා ගත්තේ යැයි කියන නාවික හමුදාවේ සේවය කරන ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත්‍රයා හා පෞද්ගලික මුල්‍ය සමාගමක සේවය කරන ඔහුගේ මිතුරා මුදිතාගමදි අත් අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම, මුදිතාගම පදිංචි වැලිසර ප්‍රදේශයේ නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන නාවික හමුදා භටයෙතු සහ රාජාංගණය,යාය 15,පහළ මාරගහවැව පදිංචි 37 හැවිරිදි පුද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙකි.
 
මෙම පුත්‍රයා සහ ඔහුගේ මිතුරා, සිය පියා ‍වෙළදසැල වසා දමා පසුගිය ජුලි 29 වන දින කුසුම්පුර පිහිටි මිතුරෙකුගේ උත්සවයකට සහභාගි වෙමින් සිටියදි පියාගේ වෙළද සැලට ඇතුලුවි එහි තිබු සිසිටිවි කැමරා පද්ධතියද ගලවා ගෙන මෙම මුදල් දේපල සොරාගත් බවට චෝදනා ලැබ සිටිති.
 
නොච්චියාගම,කුකුල්කටුවේ පදිංචි 62 හැවිරිදි ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසියට කළ පැමිණිල්ල මත ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුතා සහ ඔහුගේ මිතුරා මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
 
මෙම වෙළද සැලේ සවිකර තිබු සිසිටිවි පද්ධතියේ කොටස් කිහිපයක් රාජාංගණය ප්‍රදේශයේ තේක්ක කැලයක දමා තිබියදි සොයා ගත් බව පොලිසිය කියයි.
 
තම පියා තමන්ට හෝ තම සොයුරියට කිසිදු මුදලක් නොදෙන බවත් වෙළද සැලෙන් කුමන හෝ බඩුවක් ගත හොත් ඒ සදහාද මුදල් අය කරන නිසාත් තමන් මෙලෙස වෙළද සැල කඩාබිද මුදල් සොරාගත් බව සැකකාර පුත්‍රයා පොලිසියට පවසා තිබේ.
 
සැකකාර පුත්‍රයා හා මිතුරා අද (23)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.