පිටස්තරයින් කොමිසමට ආවේ කොහොමදැයි හොයන්න කියයි


(අංජුල මහික වීරරත්න)

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් මහජන උපයෝගීතා කොමිසම පිහිටි ගොඩනැගිල්ලට පිවිසුනේ කෙසේද යන්න හා එම අවස්ථාවේ තමන් එහි සිටින බව ඔවුන් දැන ගත්තේ කෙසේද යන්න සොයා බලන ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු මුදල් අමාත්‍යාංශයෙන් හා ආරක්ෂක අංශ වලින්  ඉල්ලීමක් කර ඇත.

මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපති උදේනී වික්‍රමසිංහ මහතා සහ එහි සාමාජික මහාචාර්ය මොහාන් සමරනායක යන මහත්වරුන් මෙම  ඉල්ලීම කර තිබේ. 

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් තමන්ට තර්ජනය කළේ යැයි කියමින් මහජන උපයෝගීතා කොමිසමේ මෙම සාමාජිකයන් දෙදෙනා  කොල්ලුපිටිය පොලිසියට  පැමිණිල්ලක් ඉදිරිපත් කර කර තිබිණි.

කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි මෙම ගොඩනැගිල්ලට කිහිපදෙනෙකු පැමිණ මහජන උපයෝගීතා කොමිසමේදී ගත් තීන්දු තීරණ ගැන ප්‍රශ්න කරමින් තර්ජනය කළ බවත් එම අවස්ථාවේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පවා එහි සිටි බවත් ඔවුන් තර්ජනය කරන ආකාරය එම පිරිස පවා දුටු බවත් මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබේ.

එදින තමන් එහි පැමිණි බව දැන සිටියේ කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන් බැවින් මෙම තොරතුර සිවිල් සමාජ ක්‍රියාකාරීන් යැයි කියන පිරිස දැන ගත්තේ කෙසේද යන්නත් මාධ්‍යයත් රැගෙන ඔවුන් කොමිසමට පැමිණියේ කෙසේද යන්නත් වහාම සොයා බැලිය යුතු බව පැමිණිලිකරුවන් ප්‍රකාශ කර ඇත.

කොමිසමේ ම පිරිසක් ජනතාව කුපිත කොට තමන්ගේ ජිවිත වලට තර්ජනය වන ආකාරයේ වැඩපිළිවෙලක නිරතවන බවට සැකයක් මතු වන බව ද ඔවුන් කියා තිබේ. 

එම නිසා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස සාමාජිකයන් දෙදෙනා පොලිසියෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.