පැය තුනකින් පී.සී.ආර් වාර්තා අතට


( තිළිණි ද සිල්වා )

විදේශීය සිට පැමිණෙන සංචාරකයනට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් වාර්තාව ලබා ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි ගුවන්තොටුපළ පර්යේෂණාගාරය විධිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉදිරි මැයි සහ ජුනි මාසවල දී ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන සංචාරක කාල සීමාව තුළ ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් රැසක් ලංකාවට පැමිණීමට නියමිත වීමත් , ඉන්දියාව සමග ඒකාබද්ධව සිදු කරන සංචාරක බුබුළු වැඩසටහන් ද ක්‍රියාත්මක වීමට නියමිත බැවින් මේ පියවර ගැනීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යවරයා කියා සිටී.

එවැනි වාතාවරණයක් තුළ දී ගුවන් තොටුපළේදි රසායනාගාර පරීක්ෂණ සහ අනිකුත් සියලු පරීක්ෂණ සිදුකර ගනිමින් ඉතා කෙටි කාල සීමාවක් තුළ විදේශිකයින් සංචාර සඳහා පිටත් කර හැරීමට අවශ්‍ය ආකාරයට ඉදිරි සැලසුම් සකස් කර ගත යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබූ ආයතන වලට සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.