පැමිණිල්ලේ සාක්ෂි සටහන් වග උත්තරකරුවන්ට දෙන්න නියෝග


(දසුන් රාජපක්ෂ)

ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ගොනු කර ඇති පැමිණිල්ලේ සාක්ෂි සටහන්වලට අදාළ සියලු වාර්තා එහි වගඋත්තරකරුවන්ට ලබාදෙන ලෙස ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(21) නියෝග කළේය. මෙම නියෝගය දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිසමේ ලේකම්වරයා වෙත නිකුත් කෙරිණි.

වනඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිත කොඩිතුවක්කු මහතා සිය සේවාදායකයන් කොමිසමට ප්‍රකාශ ලබාදීමට නියමිත බැවින් සාක්ෂි සටහන්වල පිටපත් අවශ්‍ය බවට කොමිසම වෙත කළ දැනුම්දීමක් කෙරෙහි අවධානය යොමු කළ කොමිසමේ සභාපතිවරයා එලෙස නියෝග කළේය.

දිවි නැගුම ව්‍යාපෘතිය දෙපාර්තමේන්තුවක් කිරීමේදී ඉන් ඉවත් වූ සේවකයන්ට වන්දි හා පාරිතෝෂික ලබාදීම හා ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය හරහා පිරිසකට සහන ලබාදුන් බවට අත්අඩංගුවට ගෙන තමන් රිමාන්ඩ් බාරයට පත්කිරීමට යහපාලන රජය සමයේ පත්කළ දූෂණ විරෝධී කමිටුව කටයුතු කර ඇත්තේ, දේශපාලනිකව පළිගැනීමට බව වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මෙම ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල අද(21) යළි කැඳවූ අවස්ථාවේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, මංගල සමරවීර, මලික් සමරවික්‍රම සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අතර, එම කමිටුවේ අනෙක් සාමාජිකයන් වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, ආර්. සම්පන්දන්, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න සහ ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ යන මහත්වරු කොමිසම හමුවේ පෙනී නොසිටියහ.

ජයම්පති වික්‍රමරත්න සහ ජේ. සී. වැලිඅමුන වෙනුවෙන් කොමිසම හමුවේ කරුණු දැක්වූ නීතීඥවරු සිය සේවාදායකයන් දෙදෙනා මීට මාස කිහිපයකට පෙර විදේශගතවී ඇති බව දන්වා සිටියහ.

අනෙකුත් සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිත කොඩිතුවක්කු මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයන් ඉදිරියේදී කොමිසම හමුවේ ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත බැවින් සාක්ෂි සටහන්වල පිටපත් ලබාදෙන ලෙස ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලක බැලූ කොමිසමේ සභාපතිවරයා කොමිසම හමුවේ පෙනී නොසිටි වගඋත්තරකරුවන්ට සැප්තැම්බර් 9, 10 සහ 11 වැනි දිනවල පෙනී සිටීමට නොතීසී නිකුත් කළේය.