පාස්කු දා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් අය ගැන වාර්තා ඉල්ලයි


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට කොපමණ සැකකරුවන් ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන විමර්ශනය කරන්නේ ද යන්න වහාම වාර්තා කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (22) දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ බව කියමින් මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප‍්‍රශ්න කරන සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප‍්‍රගතිය පිළිබඳව ද වහාම දැනුම් දෙන ලෙස නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

මෙම තොරතුරු හෙට (24) දිනට පෙර තමන්ට දැනුම් දෙන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරයට අදාළ සිද්ධියේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට එලෙස නියම කර ඇත.