පාසලේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සිසුන් දෙදෙනකු අවවාද කර මුදා හරී


ගම්පහ ප්‍රදේශයේ පාසලක  දුම්කොළ හා හුණු  මිශ්‍ර  මත්ද්‍රව්‍ය සහ ගංජා  නැමැති මත්ද්‍රව්‍ය  සම සිසුන් දෙදෙනකු ප්‍රශ්න කිරීම් සඳහා  පොලිස් බාරයට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

එම පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු සහ 9 වැනි ශ්‍රේණියේ සිසුවකු ළඟ තිබී මෙම  මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

මෙම මත් ද්‍රව්‍ය සිසුන්ට ලබා දුන්නේ කවුරුන්ද,  දීර්ඝකාලිනව පාසල තුළ  මෙවැනි  දෑ සිදුවනවාද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවද පොලීසිය සඳහන්  කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පාසල් දරුවන්ගේ මව්පියන් දැනුම්වත් කිරීම සඳහා පාසලෙහි පිහිටුවා ඇති  මත්ද්‍රව්‍ය නිවාරණ දෙමාපිය කමිටු සාමාජිකයින්  පාසල තුළ කළ සොදිසියකදී  මෙලෙස සිසුන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇති අතර  අනතුරුව  ඒ බව නිට්ටඹුව පොලීසියට දැනුම් දී තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර  ඔවුන් අවවාද කර මුදා හැරීමටද කටයුතු කළ බව පොලීසිය සඳහන් කළේය.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ උපදෙස් මත පාසල් දරුවන්  මත්ද්‍රව්‍ය භාවිතයෙන්  වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක්  ක්‍රියාත්මක කෙරෙන අතර,  ඊට සමගාමීව බස්නාහිර පළාතේ  පාසල් 100 යක මත්ද්‍රව්‍ය නිවාරණ දෙමාපිය කමිටු   පිහිටුවා මේ වන විට වැඩි වශයෙන් සෝදිසි කිරීම් අරඹා ඇත.

බස්නාහිර පළාත උතුරු දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත  මෙම වැඩසටහන් සිදු කෙරේ.

 

(36698)