පාසල් සිසුන්ට මුඛවාඩම් නිර්දේශ කර නෑ


( +++ ජයන්ත සමරකෝන්)

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා පාසල් සිසුන්ට මුඛ ආවරණ පළඳින ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය හෝ අධ්‍යාපන අමාත්‍යංශය හෝ මෙතෙක් කිසිදු උපදෙසක් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර නැතැයි වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (29) පැවසීය.

මේ නිසා මුඛ ආවරණ සොයමින් මවුපියන් කලබල විය යුතු නැතැයි ද, නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා කීය.

මෙම වෛරසය පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ද, මෙම තත්ත්වය දඩමීමා කරගෙන මුඛ ආවරණ ව්‍යාපාරිකයන් බොරදියේ මාළු බෑමට පටන් ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කීය.

මෙහිදී පාසල් වසා දැමීමට හෝ ක්‍රීඩා තරග කල් දැමීමට හෝ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි කී වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ඇතැමුන් ගෙන යන කටකතා හා වැරදි ප්‍රචාරවලට හසු නොවන ලෙසට ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.