(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල්වල වතුර බිල සියයට නව සියයකින් වැඩි කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
මෙලෙස මුදල් අය කිරීම අසාධාරණ බවත් මෙම මුදල් මවුපියන්ට ගෙවීමට සිදුවීමෙන් ඔවුන් අද දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවත් ඔහු සඳහන් කළේය.
ජයසේකර මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
රටේ පාසල් දස දහස් එක සීයක් තියෙනවා. පාසල් වතුර බිලෙන් ආණ්ඩුව ගෙවන්නේ හතරෙන් එකයි. හතරින් තුනක් දරුවන්ගේ මවුපියන්ට ගෙවන්න වෙලා. මේ විදිහට වැඩි වුණාම මගේ පාසල නාරම්මල මයුරපාද විද්‍යාලයට රුපියල් 125000 ක බිලක් ඇවිල්ල තියෙනවා. ඒ අනුව ඒ පාසලට ඔබතුමාලා ගෙවන්නේ තිස්එක් දහස් දෙසිය පනහයි. ඉතිරි ප්‍රමාණය ගෙවන්නේ කවුද. ඇමතිතුමා ගෙවන්නේ නැහැ. ඒ බර මවුපියන්ට දාන්න එපා. ආගමික ස්ථානවල ස්ථානවල තත්වයත් එහෙමයි. මේ ආයතන වලට සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලනවා
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:
පාසල්වල අත්‍යවශ්‍ය ජලය නොමිලේ ලබාදීමට තීරණය කළා. ඊට වැඩි වෙන ජලයට තමයි ගාස්තු ඇයි කරන්නේ. අවම ජල ප්‍රමාණය ඉක්මවා යනවා නම් ඒ සඳහා අයවැයෙන් ප්‍රතිපාදනයක් වෙන් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ බර කාටවත් යන්නේ නෑ.

