(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට නියෝග කළේය.
ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද (23) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දුන්නේය.
අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
එළැඹෙන සඳුදා සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදී පාසල් ළමුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.
ධීවර, සංචාරක සහ පොහොර බෙදාහැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා ලංගම ඩිපෝ මගින් සහ දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට ද තීරණය කෙරිණ.
ඉන්ධන පෝලිම්වල සිට වාහනවලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අළෙවි කිරීමේ ජාවාරම කෙරෙහි ද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේය.
හඳුන්වාදුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද සාකච්ඡා විය. ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණි .
දිවයින පුරා ඉන්ධන බෙදාහැරීද විධිමත්ව කඩිනමින් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.