පාර්ලිමේන්තුවේ ’’ඔළුගෙඩි මෙහෙයුම’’ නැවතත් කරළියට


 

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාව හෝ  අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව හෝ ඒ  දෙකම  ඉදිරිපත් වුවහොත් ඊට මුහුණ දීම සඳහා මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ පාර්ලිමේන්තුවේ  "ඔළුගෙඩි මෙහෙයුම" නැවතත් ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.

ආණ්ඩුව සහ  විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවල නායකයෝ,ප්‍රබල ක්‍රියාකාරීහු  සහ  ඒ ඒ දේශපාලන පක්ෂවලට උදව් උපකාර කරන කෝටිපති  ව්‍යාපාරිකයෝ  මෙම  මෙහෙයුමට සම්බන්ධව සිටිති.

මුදල්, ඇමැති තනතුරු, සහ  වෙනත් වරදාන ලබාදීම මගින්  මන්ත්‍රීවරුන් තම කණ්ඩායම් සඳහා නතුකර ගැනීමට  මේ කණ්ඩායම් දැනටමත් සාකච්ඡා ආරම්භ  කර ඇතැයිද  දැනගන්නට  ඇත.

එම යෝජනා සම්මත කිරීමේදී සහය ලබාගැනීම සඳහා  ඇතැම් මන්ත්‍රීවරුන්ට රුපියල්  කෝටි සියය,දෙසීය වශයෙන්  මුදල් ලබාදීමටද  සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර  පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් දැක්වූ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ  මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සඳහා මේ දිනවල තැන් තැන්වල  රහස් සාකච්ඡා පැවැත්වෙන බවයි.

බොහෝ මන්ත්‍රීවරුන් ඊට දායකව සිටින බවද   හෙතෙම සඳහන් කළේය.

දෝෂාභියෝග සහ විශ්වාසභංග යෝජනා සඳහා අත්සන් ලබා ගැනීම සමගි ජන බලවේගය පක්ෂය විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර  එම යෝජනා කතානායකවරයාට ඉදිරි දිනවල බාරදීමට නියමිතව ඇතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.