(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වන්නේ නීති විරෝධී ආකාරයෙන් බැවින් එහිදී සම්මත වන කිසිඳු යෝජනාවක් පිළිගැනීමට නොහැකි බව හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවනු ලබන්නේ නව රජයක් පිහිටුවීමෙන් පසු අනුගමනය කළ යුතු කිසිඳු ක‍්‍රියාමාර්ගයක් අනුගමනය නොකර බව ද එස්.බී දිසානායක මහතා ස`දහන් කළේය.
එස්.බී දිසානායක මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
‘‘රනිල් වික‍්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවකට පාර්ලිමේන්තු බහුතරය හිමිවුවහොත් එය පිළිගන්නා බව ඔබතුමන්ලා මීට පෙර පැවසුවා. අද එම කාර්යය සිදුවෙනවා. දැන් එය පිළිගන්නවාද? යනුවෙන් මාධ්‍යවේදියා ප‍්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් එස්.බී දිසානායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතු තේරීම් කාරක සභාව නම් කළ නමුත් එය රැස්වීම හෝ සෙසු කමිටු පත්කිරීමක් මෙතෙක් සිදු නොවූ බවයි.
එවන් තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නොවන බව කී මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පරීක්‍ෂා කළ යුතු නම් හෝ විරෝධතා දැක්විය යුතු නම් එසේ කරන ක‍්‍රමවේදයක් තිබෙන බව ද කීවේය.
වර්තමානයේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන ආකාරය නීති විරෝධී බැවින් එය ගන්නා තීන්දු පිළිගන්නේ නැතැයිද ඔහු කීවේය.
හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා මෙහිදී පැවසුවේ කතානායකවරයා පාර්ලිමේන්තුව සිරිකොත පක්‍ෂ රැස්වීමක් කරගෙන බලයේ එල්ලී සිටීමට උත්සාහ කරන බවයි.
ආණ්ඩු පක්‍ෂය නොමැති පාර්ලිමේන්තුවක් රැස්කරමින් ඔහු කරන්නේ පාලූ ගෙයි වලං බිඳිනවා වැනි ක‍්‍රියාවක් බව කී මන්ත‍්‍රීවරයා රනිල් වික‍්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ හෝ වෙන කුමන යෝජනාවක් සම්මත වුවද ජනතාව ඒවා පිළිගන්නේ නැතැයිද සඳහන් කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි