පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමේ සූදානමක්


(මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි)

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ලබන 29 වැනිදාට යෙදී තිබෙන හෙයින් ඊට කලින් පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ. එබැවින් ජනාධිපතිවරයා විසින් ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවාරය අවසන් කරනු ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර දින දහයකින් ජනාධිපතිවරයා විසින් නව සැසිවාරය විවෘත කර පාර්ලිමේන්තුව ඇමැතීමටද නියමිත බවද නීල් ඉද්දවල මහතා ලංකාදීප පුවත් පතට පැවසීය.

නව ජනාධිපතිවරයකු පත් වූ විට පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන්කර නව සැසිවාරයක් ඇරැඹීම පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායකි.

පෙර තීරණය කරගත් පරිදි පාර්ලිමේන්තුව මීළඟට රැස්වීමට නියමිතව තිබුණේ ලබන මස 3 වැනිදා පස්වරු 1.00ටයි. පාර්ලිමේන්තුව වාර අවසාන කෙරුණු පසුව බොහෝදුරට ලබන මස 12 හෝ 13 පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඇරැඹෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම දිනයේදීම සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන ප්‍රධාන තනතුරුවලට මන්ත්‍රීවරුන් පත් කර ගැනීමටද නියමිතය.

කතානායක කරු ජයසූරිය මහතා එම තනතුරෙන් ඉවත් වුවහොත් ඒ තනතුරට ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරයකු පත් කර ගැනීමද පළමු දිනයේදීම සිදුවනු ඇතැයි දැනගන්නට ඇත.