(සුජිත් හේවාජුලිගේ)
ප්රංශය එංගලන්තය ඇතුළු යුරෝපා රටවලට පැනගිය මෙරට ප්රධාන පෙළේ පාතාලකරුවන් දස දෙනකු දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් ඒ රටවල නීතිය අනුව මෙරටට ගෙන්වා ගැනීමට අසීරු තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
කංජිපානි ඉම්රාන්, කුඩු අංජු, රොටඹ අමිල සහ රූබන් ආදීහු යුරෝපයට මෙසේ පැනගොස් සිටින පාතාලකරුවෝ වෙති.
රත්මලානේ කුඩු අංජු ප්රංශයේදී අත්අඩංගුවට ගත්තද මෙරටට භාර නොදුන් අතර ඔහු මේ වනවිට එරට දේශපාලන රැකවරණ ලබා සිටි.
ප්රබල පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙකු එංගලන්තය, ප්රංශය, රුසියාව, ඉතාලිය, ඔස්ට්රියාව ආදී යුරෝපීය රටවලට සංක්රමණය වී ඇතිබවත් රත්ගම විදුර, කොස්ගොඩ සුජී, ලාල්, අන්නාසි මොරිල්, මොහොමඩ් සිද්ධික් වැනි මත්කුඩු ජාවාරමේ නිරත ප්රබල පාතාල අපරාධකරුවන් රැසක්ද දැනට සිටින්නේ යුරෝපීය රටවල බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාම හේවා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ යුරෝපීය රටවල සිටින පාතාලකරුවන් පිරිසක් දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීමේ විශාල අභියෝගයක් මතුව ඇති බවයි.
මේ අනුව යුරෝපයට පැන ගොස් සිටින පාතාලයන් සම්බන්ධයෙන් රජයට වෙනත් ක්රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇතැයි විචාරකයෝ සඳහන් කරති.
පාතාල නායකයකුවූ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්දි නමැත්තියද එසේ අත්අඩංගුවට ගැනීමට පෙර යුරෝපයේ රටකට පැනයාමේ උත්සාහයක් තිබී ඇතැයි අනාවරණය වී ඇත. ඇය එසේ යුරෝපයට පැන ගියා නම් දේශපාලන රැකවරණ හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ ගැටලුවක් අනිවාර්යයෙන්ම මතුවීමට ඉඩ තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
බොහෝ යුරෝපා රටවල රටකින් රටකට සැකකරුවන් භාරදීමේ ක්රියාවලිය නැතහොත් උදර්පණය බලාත්මක නොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

																	
																	
																	
																	
																	
																	