( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමාට එරෙහිව රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කර , තමාව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු ගොනු කළ අභියාචන පෙත්සම ලබන සැප්තැම්බර් 07 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.
මෙම අභියාචනා පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැදවූ අතර එහිදී පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම මෙදිනට නිම කෙරිණි.
2015 වසරේ ජනවාරි මාසයේදී පැවති ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතන කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළ විත්තිකාර අභියාචකයින් වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඉකුත් වසරේ ජූලි 31 වැනිදා මරණ දඩුවම නියම කළේය.
එකී නඩු තීන්දුව දෝෂ සහිත බවත් , එම තීන්දුව බල රහිත කොට තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ලෙස ඉල්ලා පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා මෙම අභියාචන පෙත්සම ගොනු කෙරිණි.
නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ ඇත.
විත්තිකාර අභියාචකයින් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි, අනූජ ප්‍රේමරත්න, නීතීඥ බුද්ධික චන්ද්‍රසේකර, යන මහත්වරු පෙනී සිටියහ
නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ සුදර්ශන සිල්වා මහතා පෙනී සිටියේය.
මේ අතර රත්නපුර මහාධිකරණයෙන් මරණ දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට යෑමට අවසර ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනු කළ අතර එය සලකා බැලූ අභියාචනාධිකරණය ඉකුත් වසරේ සැප්තැම්බර් 07 වැනිදා ඔහුට පාර්ලිමේන්තු යෑමට අවසර ලබා දුන්නේය.ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර මහතා බන්ධනාගාරයේ සිට සෑම පාර්ලිමේන්තු සැසිවාරයකට එක්වේ.

