ප්‍රහාරයට අයිඑස් සම්බන්ධ බවට තවම පැහැදිලි සාක්ෂි නෑ


පාස්කු ඉරිදා ප්‍රහාරයට අයි.එස්.අයි.එස්. සංවිධානය සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තවමත්  ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (24) පැවසීය.

මේ ප්‍රහාරයට අයි.එස්.එයි.එස්. සංවිධානය ස්ථිරව සම්බන්ධ දැයි තහවුරු කර ගැනීමට විශේෂ පරීක්ෂණයක් මේ දිනවල කරගෙන යන බව කී සෙනෙවිරත්න මහතා, ඒ සඳහා ජාත්‍යන්තර බුද්ධි හා ආරක්ෂක අංශවලින් සහාය ලබා ගන්නා බව ද ප්‍රකාශ කළේය.

ප්‍රහාරයට අයි.එස්.අයි.එස්. සංවිධානය ඍජුව සම්බන්ධ වී ඇති බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී නැතත්, සහරාන් කල්ලිය තුළ අයි.එස්.අයි.එස්. අදහස් හුවමාරු වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඔහු කීය.

සහරාන් කල්ලියේ ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානත්වයෙන් ප්‍රහාරයට කලින් තමාටත් දැනගන්නට ලැබුණු බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රහාරය සිදුවූ දින උදේ ඒ පිළිබඳව තමාගේ දුරකතනයට එස්.එම්.එස්. පණිවුඩයක් රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබී තිබුණත්, පණිවුඩය දකින විට ප්‍රහාරය සිදුවී තිබූ බව ද පැවැසීය.

තමන් එස්.එම්.එස්. පණිවඩය දැක්කේ බෝම්බ ප්‍රහාරය ආරංචි වී කොච්චිකඬේ පල්ලියට ගොස් සිටියදී යැයි ද සෙනෙවිරත්න මහතා කීය.

සහරාන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාලයක සිට පරීක්ෂණ පැවැත්වූ බවත්, සහරාන් කල්ලියේ ප්‍රහාරය පිළිබඳව කල්තියා තොරතුරු ලැබී තිබියදී ඒ පිළිබඳව ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය ගැන තමාද සෑහීමකට පත් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) පස්වරුවේ රැස්විය.