(සුජිත් හේවාජුලිගේ)
විවිධ හේතු මත පුපුරන්න ඔන්න මෙන්නව පැවති රටේ ආර්ථිකය කොව්ඩ් සහ පොහොර ප්‍රශ්නය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පුපුරා ගිය බව දිවයිනේ විද්‍යාල රැසක ආර්ථික අධ්‍යයන අංශවල ආචාර්ය මහාචාර්යවරු රැසක් රටේ ආර්ථික බංකොළොත්භාවය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙරේදා(3) පෙන්වා දුන්හ.
කවුරු කුමක් පැවසුවත් කොව්ඩ් පැමිණෙනවිටත් රටේ ආර්ථිකය පැවතුණේ පහත අඩියක බවද ඔවුහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි රටේ ආර්ථික බංකොළොත් භාවය පිළිබඳව කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කළ දැනුම්දීමක් අනුව දිවයිනේ විශ්වවිද්‍යාල රැසක ආචාර්ය මහාචාර්යවරු 29 දෙනෙක් එම කාරක සභාව හමුවේ පෙනී සිටියහ.
රැස්වීමට පැමිණි සෑම විද්වතෙක්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වෙන වෙනම අදහස් දැක්වීම විශේෂත්වයකි.
එම විද්වතුන් ඇමතූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පක්ෂ පාට අමතක කර, පාට කණ්ණාඩි ගලවා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අවංකව කරුණු ඉදිරිපත් කරන්නැයි මුලින්ම ඉල්ලීමක් කළේය.
රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සාධක මතු කරගෙන ඒ ගැටළුවලට විසඳුම් සෙවීමට උපරිම ලෙස සහාය දක්වන්නැයිද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
රටේ ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තවත් පාර්ශව ඉදිරියේදී කැඳවන බව සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම විමර්ශනවලින් අනතුරුව රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සාධකවූ කරුණු අනාවරණය කරමින් සහ බංකොලොත්භාවය වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු පියවර නිර්දේශ කරමින් වාර්තාවක් පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

