පළාත් සභා අහෝසි කිරීමේ යෝජනාවක් වලල්ලාවිට ප්‍රා.ස දී සම්මත වෙයි


 (ප්‍රේමතිලක පෙරමුණ )

13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ වර්ෂ 1987 දී  ස්ථාපිත කරන ලද   පළාත් සභා මැතිවරණ ක්‍රමය අහෝසි කළ යුතු යැයි  යෝජනාවක්  අද(15)  වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ දී ඒකච්ඡන්දයෙන් සම්මත විය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රී නාලක තරංග සමරවික්‍රම මහතා විසින් ගෙන එන ලද මෙම යෝජනාව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් යෝජනාවට පක්ෂව  අදහස් දැක්වූ වූ අතර , යෝජනාවට විරුද්ධ ව  කිසිදු මන්ත්‍රීවරයෙකු අදහස් නො දක්වන ලදී.
 
 මෙහි දී යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා පවසා සිටියේ වසර 32 ක් පුරාවට පළාත් සභාවෙන් රටට ජනතාව ට අගතියක් වූවා මිස  සාර්ථක  සංවර්ධනයක් නො වූ බවත් ,මෙම ක්‍රමය රටේ මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් පමණක් බව ය.
 
එබැවින් මෙම ක්‍රමය වෙනුවට දිසා ඇමතිවරුන් 9 දෙනෙකු පත්ක කර ඔවුන් යටතේ රටේ සියලු පළාත් පාලන ආයතන සෘජුව සම්බන්ධ කර රට සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බව මන්ත්‍රීවරයා පැවසී ය .

මෙහිදී අදහස් දැක්වූ සියලුම මන්ත්‍රීවරුන් පවසා සිටියේද ,පළාත් සභාව විසින් පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සහයෝගය ලබා නොදෙන බවත් ,මධ්‍යම රජයේ මගින් පළාත් සභාවට අනවශ්‍ය  ඇඟිලි  ගැසීමක් සිදු කරන බවත් ,ඒ හේතුවෙන් තමන්ට  තම ප්‍රදේශයේ  ජනතාවට කිසිදු සේවයක්  කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි . වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද  මෙම යෝජනාවට එකඟත්වය පළ කළේය.