(රන්ජන් කටුගම්පොල)
සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට හෝ විවෘත ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමේ බලය පළාත් පාලන කොමසාරිස්වරයාට බලය තිබේද? නැද්ද? යන්න පිළිබඳව තීන්දුව ලබන 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාශයට පත්කරන තෙක් අදාළ ප්‍රාදේශීය සභාවල තනතුරු සඳහා තෝරා ගැනීම් සිදුකිරීම සඳහා ඡන්ද විමසීම් නොපවත්වන ලෙස පළාත් පාලන කොමසාරිස්වරුන්ට උපදෙස් දීමට නීතිපතිවරයා එහිදී එකඟත්වය පළ කළේය.
සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුලු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපතිවරු සහ උපසභාපතිවරුන් තෝරා ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් පළාත් පාලන කොමසාරිස්වරුන් වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙසේ දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවිණි.