පළාත් ඡන්දය ඉක්මණින් පවත්වන්නැයි යෝජනාවක්


(විනීතා එම් ගමගේ)

මැතිවරණ කල් නොදමා වහා මැතිවරණ පවත්වන්නට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී යෝජනාවක් ගෙන ආ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර දිසානායක මහතා ගෙන ආ එම යෝජනාව නිමල් සිරිපාල ද සිල්වා මන්ත‍්‍රීවරයා ස්ථීර කළ අතර එය ඒකමතිකව සම්මත වූ බව ද හෙතෙම කියා සිටියේය.

වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ද විමසමින් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස මෙම යෝජනාව ගෙන ආ බව ද අමරවීර මහතා කීය.

මැතිවරණ කොමසාරිස්වරයා පළාත් සභා පිළිබඳ ප‍්‍රශ්නය ජනාධිපතිවරයා ඉදිරියට ගෙනැවිත් ඇතැයි කී අමරවීර මහතා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්නැයි ඉල්ලා ඇති බව ද කීය.

රට තුළ විශාල කථාබහක් ඇති අතර පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට විවිධ චෝදනා එල්ල වී ඇති බව කී මන්ත‍්‍රීවරයා එවැනි තත්ත්වයක් යටතේ මධ්‍යම කාරක සභාව මෙම පියවර ගත් බව ද පැවසීය.