පළාත් කිහිපයකට හෙට දිනයේත් තද සුළං


(ඩයනා උදයංගනී)
 
පළාත් කිහිපයක සහ දකුණු, බටහිර, වයඹ මුහුදු ප‍්‍රදේශයන්හි හෙට (20)  දිනයේත් ඉතා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

            
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද යන පළාත්වලත් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
සෙසු ප‍්‍රදේශවලද පැයට කිලෝමීටර 50 - 60 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද එම ඔහු සඳහන් කළේය.
            
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර 80 - 90 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි බව හෙතෙම ප‍්‍රකාශ කළේය.
            
එබැවින් අනිද්දා (21) උදෑසන දක්වා එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
 
මධ්‍යම, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100ට වැඩි වැසි ඇතිවන අතර කළුතර, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
 
අනෙකුත් ප‍්‍රදේශවලද තැනින් තැන වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියා කරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
 
මීට අමතරව තාවකාලික නිවාසවලට හානිවීම්, වහලවල තහඩු ගසාගෙනයෑම්, ගස් ඉරිම් සහ අතු කඩාවැටීම්, වෙරළාසන්න පහත් ගොඩබිම් වෙත මුහුදු ජලය පැමිණීම් ආදිය ද සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
            
කඳුකර සහ මුහුදුබඩ ප‍්‍රදේශවල මාර්ග භාවිතා කරන්නන්, වෙරළ ආසන්න තාවකාලික නිවාසවල පදිංචිකරුවන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සැළකිළිමත් විය යුතු අතර ගස් සහ විදුලි රැහැන් කඩාවැටීම් සිදුවන්නේ ද යන්න ගැන අවධානයෙන් පසුවිය යුතු බව ද එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. 
 
මේ අතර අද (19) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24ක කාලයේ දී නුවරඑළිය දිස්ත‍්‍රික්කයට මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති අතර වැඩිම වර්ෂාපතනය ලෙස එම දිස්ත‍්‍රික්කයේ ඩන්කන් වතුයාය ප‍්‍රදේශයට මිලිමීටර 251.5ක වර්ෂාපතනයක් ලැබී ඇත.