පළාත් අතර වැහුවත් රාජකාරි අවශ්‍යතා මත බස් කිපයක් ධාවනයට


(නිමල කොඩිතුවක්කු)

පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළත් රජයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරි සදහා යන සේවකයන් වෙනුවෙන් සීමිත බස්රථ ප්‍රමාණයක් ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා කැඳවුම් ලැබූ අය පමණක් එම බස් රථ වලින් ගමන් කරන බැවින් සාමාන්‍ය ගමන් සඳහා එම බස් රථ සේවා ලබා නොගන්නා ලෙසත් සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

එසේම දැනට හුදෙකලා කර තිබෙන ප්‍රදේශ අතර බස් රථ ධාවනයේ දී එම හුදෙකලා ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සිදු නොකරන බවද ඔහු සඳහන් කරයි.

දිස්ත්‍රික්ක ඇතුලත බස් රථ ධාවනයේ දී උපරිම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් බස් රථ ධාවනයට කටයුතු කරන්නැයි සියලුම ඩිපෝ අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද ලංගම සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.