පළාත් අතර දුම්රිය ධාවනය තවදුරටත් සීමා


(නිමල කොඩිතුවක්කු)

පළාත් අතර දුම්රිය ධාවනය කිරීමට කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ අනුමැතිය නොලැබීම මත පසුගිය සතියේ දුම්රිය ධාවනය වූ පරිදිම හෙට (05) සිට දුම්රිය ධාවනය වන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනවිරත්න මහතා පැවසීය.

ඒ අනුව අබේපුස්ස,අවිස්සාවේල්ල,කොච්චිකඩේ හා අලුත්ගම දුම්රිය ස්ථාන වල සිට දුම්රිය කොළඹ කොටුව හා මරදාන වෙත දුම්රිය ගමන් ගමන්වාර හැත්තෑවක් ක්‍රියාත්මක බව ඔහු සදහන් කළේය.

ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස,මිරීගම,වේයන්ගොඩ හා ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 11 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම ,දකුණු කලුතර,වාද්දූව ,පානදුර ,මොරටුව හා ගල්කිස්ස සිට ගමන් වාර 12ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා පාදුක්ක සිට ගමන් වාර 5 ක් ද, පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා මීගමුව සිට ගමන් වාර 8 ක් වශයෙන් උදෑසන කොළඹ කොටුව හා මරදාන වෙත ධාවනය කිරීමට කටයුතු යොදා ඇති ඇති බව සෙනෙවිරත්න මහතා පැවසීය.

උදෑසන ධාවනය වන මෙම ගමන් වාර සංඛ්‍යාව සවස නැවත ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගී ජනතාවගේ පහසුව පිණිස පලාත් අතර  මහනුවර සිට කොළඹ කොටුව දක්වා ,බෙලිඅත්ත සිට මරදාන දක්වා , මහව සිට කොළඹ කොටුව දක්වා  දුම්රිය ධාවනයට කටයුතු සැලසුම් කර තිබුන ද ජාතික කොවිඩ් 19 වැලැක්වීමේ කමිටුවේ අනුමැතිය ඒ සඳහා  නොලැබී මත තව දුරටත් පළාත් අතර දුම්රිය ධාවනය සිදු නොවන බවත් හෙතෙම කියා සිටියේය.

මෙයට අමතරව සෙසු පළාත් අතරත් දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය. 

මගී ජනතාවගේ අවශ්‍යතාවය මත  බස්නාහිර පළාත තුළ තවත් දුම්රිය ගමන් ගමන් වාර කිහිපයක් මේ සතිය තුළ වැඩි කිරීමට නියමිත බවත් ගාමිණී සෙනවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය .