
(බී.ජී. චතුරංග)
හිදෝගම පොලිස් වසමේ, හල්මිල්ල කුලම ප්‍රදේශයේදී වන අලියෙකුට ඊයේ (23) වෙඩි තබා ඝාතනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය වනජීවී කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ , අංක 538, පලයාකුලම, හල්මිල්ලකුලම, තුරුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වන අලි රංචුවක් සැකකරුගේ බෝග වගාවන් ඊයේ (23) අලුයම 1.30ට පමණ පැමිණි විනාශ කරමින් සිටියදී එම වන ලි රංචුව පලවා හැරීමට උත්සාහ කිරීමේදී එක් වන අලියකු සැකකරු පසුපස ලුහුබැඳ පැමිණ ඇති බව වන ජීවී අංශය පවසයි.
මෙම අවස්ථාවේදී සැකකරු තම අත තිබූ බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියෙන් වෙඩි තබා එම වන අලියා ඝාතනය කර ඇති බව වන ජීවී අංශ සදහන් කලේය.
වෙඩි වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20 පමණ වන උස අඩි 7යි, අඟල් 3ක පමණ පිරිමි සතෙකි.
තිරප්පනය වනජීවී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම කාර්යාලයේ අඩවි සහකාර එච්.එන්.බී.ඊ හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ වවිමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එහි පැමිණි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය ඩබ්ලිව්. එල්, යූ. මදුවන්ති මහත්මිය විසින් මරණ පරීක්ෂණය සිදු කලහ.
එම වෛද්‍ය වාර්තාවට අනුව වන අලියා මිය යෑමට හේතුව, වෙඩි වැදීමකින් මොළයට සිදුවූ බරපතල හානි හේතුවෙන් බවට වෛද්‍ය වාර්තා ලබා දී තිබේ.
පසුව සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කල බවද පොලිසිය සදහන් කලේය.

