පලා යන්න ගිය සැකකරුට වැඩ වරදි


(ගයාන් සුරීය ආරච්චි)

බොරැල්ල, කාදර් මානවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයට පලායෑමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගුවන්තොටුපළ ඒකකය පවසයි.

කටුනායක ගුවන් තොටුපළෙහි සවිකර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය මගින් සැකකරු හඳුනා ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සංචාරක වීසාවක් මාර්ගයෙන් ඩුබායි රාජ්‍යයට පලා යෑමට උත්සාහ කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල පොලිසිය වෙත බාර දී ඇත.

බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.