පරිසර වාර්තාව ලැබෙනතුරු ගාලු කොටුවේ අඩිතාලම පිළිසකර කිරීම නවතී


( ඩි.ජී.සුගතපාල)

ගාල්ල කොටුවේ අඩිතාලමේ සෝදා ගෙන යාමට පටන්ගෙන ඇති ස්ථානවලට ගල් දමා ආරක්ෂා කිරිමේ වැඩ පිළිවෙල නිසි පරිසර අධ්‍යනයක් සිදුකර වාර්තාව ලැබෙන තෙක් තාවකාලිව නතර කිරිමට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (25) උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපාතියේ නිලධාරින්ට සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙසේ ගල් දැමිම නිසා ඉතා දුර්ලබ කොරල් පරවලට සහ වෙරළට හානි සිදුවන බවට කොටුව පදිංචිකරුවන් විසින් කරුණු දැක්විම අනුව අමාත්‍යවරයා අදාල නිලධාරින් හා කොටුව පදිංචිකරුවන් සමග පැවති සාකච්ඡාවකදි ගල් දැමිම මෙසේ තාවකාලිව නතර කිරිමට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශිය ඉංජිනේරු සුරංග නන්දසේන මහතාගෙන් විමසුවිට කියා සිටියේ කාලයක් තිස්සේ රල පහර වැදිම නිසා  කොටු බැම්මේ අඩි තාලමේ සමහර ස්ථාන සෝදාගෙන යාමට පටන්ගෙන ඇති බවය.ඒ අනුව දැනට එසේ සෝදාගෙන යන ස්ථාන දහයක් හඳුනාගෙන ඇති බවත් එම ස්ථානවලට ගල් දැමිමට පියවර ගත් බවත් සුරංග නන්දසේන මහතා කිය.

කොටුවේ සංවර්ධන කටයුතු  සිදු කරනු ලබන උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපාතියේ නිලධාරින්ගෙන් විමසුවිට කියා සිටියේ කොටු බැම්මේ පේන ස්ථාන අලුත් වැඩියා කලත් යට නොපෙනෙන ස්ථාන අලුත් වැඩියා කිරිමට නොහැකි බවය.එනිසා මුහුදෙන් ගොස් කරන ලද අධ්‍යනයකදී මෙසේ සෝදාගෙන යන ස්ථාන හඳුනා ගත් බවය.

එහෙත් ගල් දැමිම නිසා ඉතා වටිනා කොරල් පර වලට හානිවිය හැකි නිසා නියමිත ලෙස පරිසර අධ්‍යනයක් සිදු කර සැළැස්මක් සකස් කරන ලෙස ආමත්‍ය රමේෂ් පතිරණ මහතා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු,උපාය මාර්ගින නාගර සංවර්ධන ව්‍යාපාතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කැළුම් සිරිවර්ධන,ව්‍යාපාති බාර නිලධාරි වාස්තු විද්‍යාඥ චින්තන තිලක්,සිවිල් ඉංජිනේරු කාවින්ද වැලිගමගේ , හේමන්ත ජයසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.