පකිස්ථාන සරණාගතයින් පිරිසක් ඉවත්කරන්නැයි ඉල්ලා සංදේශයක් බාරදෙයි


(සිතුම් චතුරංග)

පකිස්ථාන මුස්ලිම් සරණාගතයින් පිරිසක් වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරෙන් ඉවත්කරන ලෙස ඉල්ලා වව්නියාවේ සර්ව ආගමික නායකයෝ අද (21) ආරක්ෂක අංශ වෙත සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාරදෙනු ලැබූහ.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට හෝ සර්ව ආගමික නායකයින්ට නොදන්වා රහසිගතව මෙම මුස්ලිම් ජාතික සරණාගතයින් පිරිස වව්නියාව පුනරුත්ථාපන කඳවුරට ගෙන ඇති බවත් මෙම ක්‍රියාකලාපයන් හේතුවෙන් වව්නියාව ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව සර්ව ආගමික නායකයෝ එහිදී චෝදනා කළහ.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වව්නියාව නගර සභා ශාලාවේදී පැවති අතර එහිදී සර්ව ආගමික නායකයන් හා සිවිල් සංවිධාන ඇතුළු දේශපාලනඥයින් ඒකමතිකව තීරණය කරණු ලැබුවේ වව්නියාව දිස්ත්‍රික්කයේ ජනතාවට ජීවිත තර්ජනයක් වියහැකි වන සිදුවීමක් ඇතිවිය හැකි බැවින් සරණාගතයින් පූන්තෝට්ටම් කඳවුරෙන් ඉවත්කළ යුතු බවටය.

ගැටළුව සම්බන්ධයෙන් වව්නියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී.තිරේෂ්කුමාර් මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබූ අතර එහිදී අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සර්ව ආගමික නායකයින් වෙත පවසා සිටියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අදාළ සරණාගතයින් රැගෙනවිත් සිටින බවට හෝ නොදන්නා බවත් ඒ පිළිබඳ කිසිවෙකු මෙතෙක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත දැනුම්දී නොමැති බවත්ය.

මේ පිළිබඳ අදහස් දැක්වූ උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක මඩුකන්ද ශ‍්‍රී දළදා විහාරයේ විහාරාධිපති මුවඇටගම ආනන්ද නාහිමි මෙසේ පැවසූහ.

‘‘වව්නියාව දිස්ත්‍රික්කයට පකිස්ථාන සරණාගතයින් ගෙනඒම පිළිබඳ විරුද්ධත්වය පළකරනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරියකු හෝ දැනුවත් කර නැහැ. එසේ කළ ඇත්තේ මෙහි යම් තර්ජනයක් තිබිය හැකි බැවින් බව අප සැක පළකරනවා.

වව්නියාව දිස්ත‍්‍රික්කය කියන්නේ සියලු ජාතීන් ජාතික හා ආගමික සහජීවනයෙන් ඉහළ දිස්ත්‍රික්කයක්.  අපි අද ආගම් භේදයකින් තොරව එක්ව සිටිනවා. නමුත් එය විනාශ කිරීමට උත්සහ කරන ආණ්ඩුවේ මේ රහසිගත ක‍්‍රියාකලාපයට අප විරුද්ධවනවා.

සරණාගතයින් රාත්‍රී කාලයේ කඳවුරට ගෙනත් දමනවා. මෙම පිරිස හේතුවෙන් මෙහි යම් සිද්ධියක් සිදුවුවහොත් අපේ තිබෙන ආගමික සහජීවනයත් විනාශවෙලා යයි. රජයෙන් ඉල්ලා සිටිනවා මේ සිටින සියලූදෙනා ඔවුන්ගේ රටවල් වලට ආරක්ෂිතව පිටත්කරවන්න කියා.

අපි දැඩිව ඉල්ලා සිටින්නේ රජයෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ ජනතාව අතර තිබෙන සංහිදියාව නැතිකරන්න මෙවැනි කඩාකප්පල්කාරී වැඩ සිදුනොකරන ලෙසයි. මෙහි රඳවා සිටින සරණාගතයින් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළහ.

සර්ව ආගමික නායකයින් හා  වව්නියාව විහාරාධිපති හිමිවරුන් වව්නියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුර වෙත ගොස් එම කඳවුරේ අණදෙන නිලධාරීවරයා හමුවී සංදේශයක් භාරදීමට පැමිණි අවස්ථාවේ යුද හමුදාව විසින් දැඩි ආරක්ෂක රැකවල් යොදවා භික්ෂූන් වහන්සේලා කඳවුර අසලට යෑම වළක්වමින් හමුදා ලොරි රථ යොදා මාර්ගයද අවහිරකොට තිබිණ.

වර්ෂාව මධ්‍යයේ මිනිත්තු තිහකට අධික කාලයක් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සංදේශය භාරදීම සඳහා බලධාරීන් පැමිණෙනතෙක් බලා සිටි අතර එම ස්ථානයට පැමිණි වව්නියාව වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ශ‍්‍රී සම්පත් පෙරේරා මහතා සංදේශය තමන් රැගෙනගොස් කඳවුරේ අණදෙන නිලධාරීවරයාට බාරදෙන බවට පොරොන්දුව මත සංදේශය භාරදී විහාරාධිපති නාහිමිවරු හා සර්ව ආගමික නායකවරු එම ස්ථානයෙන් ඉවත්ව ගියහ.