(තිළිණි ද සිල්වා)
මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ වත්කම් තවමත් රජයට පවරා ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය හා ගිණුම් අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත ස්වර්ණතිලක මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් අද (24 ) පැවසීය.
එසේ වත්කම් රජයට පවරා නොගත්තද 2019 වසරේ මුල සිට මේ දක්වා රුපියල් මිලියන 182 කට ආසන්න මුදලක් රජය මඟින් රෝහල් කටයුතු වලට ලබා දී ඇති බවත් ඊට අමතරව ඖෂධ සඳහා තවත් රුපියල් මිලියන 50ක මුදලක් මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ලබා දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය හා ගිණුම් අධ්‍යක්ෂක ජනරාල්වරයා කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේය.
නිසි පවරා ගැනීමකින් තොරව මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සඳහා රාජ්‍ය මුදල් වැය කිරීම් සිදුව ඇතැයි කියමින් එම කොමිසම හමුවේ ගොනු වී ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව කීයා සිටියේය.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දුන් හේමන්ත ස්වර්ණතිලක මහතා මහතා මෙසේද කීය.
‘‘ මෙම රෝහලේ වත්කම් රජයට පවරා නොගත්තද මේ වසරේ මුල සිට මේ දක්වා රුපියල් මිලියන 182කට ආසන්න මුදලක් රජය මඟින් රෝහලේ කටයුතු සඳහා ලබා දී තිබෙනවා.එම රෝහලේ කටයුතු සඳහා රජයෙන් රුපියල් මිලියන 197ක් අනුමත වුණා.එම අනුමත වූ මුදලින් තමයි ඉහත සඳහන් කළ මුදල රෝහලේ කටයුතු සඳහා ලබා දෙනු ලැබුවේ.එසේම 2017 සහ 2018 වර්ෂ වලද තවත් විශාල මුදලක් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට වියදම් සඳහා ලබා දී තිබෙනවා.ඊට අමතරව ඖෂධ සඳහා ද තවත් මිලයන 50ක් රජය විසින් ලබා දුන්නා.2016 අගෝස්තු 28 වැනිදා මහා භාණ්ඩාගාරය මඟින් එවා ඇති ලිපියකට අනුව රුපියල් මිලයන 90ක රජයේ මුදලක් නෙවිල් ප‍්‍රනාන්දු රෝහල විසින් ලංකා බැංකුවේ පවත්වා ගෙන යන ගිණුමේ තැන්පත් කිරීමද සිදු කෙරුණා.
ඒ වගේම නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා ලංකා බැංකුව මඟින් ලබා ගෙන ඇති ණය මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කිසිවිටෙකත් ගෙවා දැමුවේ නැහැ. ණයවාරික හිඟ වුවද රෝහල සම්බන්ධයෙන් ලංකා බැංකුව පියවර නොගැනීම සම්බන්ධයෙන් මට කිසිවක් සඳහන් කළ නොහැකියි.නමුත් 2017, 2018 සහ 2019 යන වර්ෂයන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ එම රෝහලට රජයේ මුදල් වෙන් කිරීම සිදු වූවා.
එසේම රෝහලේ සේවය කරන සේවකයින්ගේ 39 දෙනෙකු සඳහා වන ගෙවීම් වලට රජය මුදල් වැය කරනවා.මේ සියලු මුදල් ලබා දුන්නද රෝහලේ වත්කම් කිසිවක් තමවත් රජයට පවරාගෙන නැහැ.ඒවගේම මෙම රෝහල් භූමියේ අයිතිය නාගරික සංවර්ධන අධිකාරියට අයිතිව සතුව අතර වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා උකස්කරයක් මත ලංකා බැංකුව මඟින් ණයක් ලබා ගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය හා ගිණුම් අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.
මෙම පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය අගොස්තු 01 වැනිදාට කල් තැබිණි.

