(ටී.කේ.ජී. කපිල )
රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් (2,60,00,000)ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ සිංගප්පූරු ජාතික යුවළක් ඊයේ (28) දින රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.
මොවුන් වයස අවුරුදු 55 සහ 45 යන සීමාවල පසුවන සිංගප්පූරු ජාතික යුවලක් වන අතර, ඔවුහු එරට ප්‍රධාන පෙළේ විදේශ මුදල් හුවමාරු ආයතනයක හිමිකරුවෝ වෙති.
මේ වසරේ, මේ වනවිට පමණක් මොවුන් දෙදෙනා 6 වතාවක් පමණ, ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවට රේගුව කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබේ.
මොවුන් දෙදෙනා ඊයේ (28) මධ්‍යම රාත්‍රී 12.00ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මොවුන් ඇඳ සිටි කලිසම් සාක්කුවල සහ ඒවාට යටින්, තම සිරුරුවලද, මෙම කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 850 ක් බර ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන ඇත.
මාල සහ පෙන්ඩන්ට් වැඩි වශයෙන් තිබූ මෙම ස්වර්ණාභරණ තොගය පිළිබඳව, කල් ඇතිව රේගු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ අතර, ඔවුන් ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මෙම අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලාල් ගජධීර සහ සමන් රණවන යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන කේ.එච්.පී. කුමාරසිරි, පී.ජී.සුමනපාල සහ අජිත් දුමින්ද, රේගු අධිකාරී කමල් ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන රාජිත සිල්වා සහ තිලංක දිසානායක යන මහත්වරු සිදුකරති.




