නීතියෙන් වෙන්ව සිටි බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කරයි


(හේමලතා ඩී හේවගේ)   

නීතියෙන් වෙන් සිටින යුවළක් අතර කාලයක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එම කාන්තාවට  ඇයගේ සැමියා විසින් අද (12)  පන්නල කැකිල්ලපිටිය මන්සන්ධියට ආසන්නයේදී උල් පිහියකින් ඇන  ඝාතනය කර ඇති බව පන්නල පොලීසිය කියයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තලම්මැහැර විරිදියාවත්ත ජනපදයේ පදිංචි ගම්මන ආරච්චිලාගේ අනෝමා කුමාරි ජයතිලක නැමති 39 හැවිරිදි දෙදරු මවක් වන අතර පන්නල මහජන බැංකුවේ පිරිසිදු කරන්නියක ලෙස කටයුතු කරන ඇය තවත් කාන්තාවක් සමග රැකියාවට යාම සඳහා ප්‍රධාන මාර්ගයට යන අතරතුරදී මෙම අනතුරට මුහුණදී ඇති බවත් පොලීසිය පවසයි.

කාලයක සිට පවුලේ පැවති අඩ දබර හේතුවෙන් අධිකරණය හමුවේ නඩුවක් පවරා නීතියෙන් වෙන්ව සිටි මෙම කාන්තාව දරුවන් දෙදනා සමග වාසය කර ඇති අතර එහෙත් සැකකාර සැමියා ඇයට නිතර නිතර හිරිහැර කරන බව පවසමින් මෙම කාන්තාව පන්නල පොලිස්ථානයට පැමිණිලි කර ඇත.
 
මේවනවිටත් ඔහුට විරුද්ධව කුලියාපිටිය අධිකරණය හමුවේ ණඩුවක් පවතින බවද විමර්ශනවලදී අනාවරනය වී ඇත.

මිය ගිය කාන්තාවගේ එක් දරුවකු ඊයේ (11) පැවති 5 වසර ශිෂ්වත්ව විභාගයට පෙනීසිට ඇති අතර සැකකරු එම දරුවන්ට නඩත්තු ගෙවමින් සිට ඇති බවත් පොලීසිය කියයි.

මෙම ඝාතනය සිදුකරල බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර කුලීවැඩ රැකියාව වශයෙන් කරන මොහු නිරනතරයෙන් බීමත්ව සිටින අයෙකු බවද සඳහන්වේ. කුලියාපිටිය කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිළධාරීහූ සිද්ධියවූ ස්ථානය පරීක්ෂා කරනු ලැබිය.