නීතිපති ආරක්ෂක ලේකම්ට ලියයි


(නිමන්ති රණසිංහ)

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් මේ වන විටත් රජයේ නිලතල හෝ ආරක්ෂක අංශවල සේවයේ නියුතු අයවලුන් නම් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.
 
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී ඇති බවත් සැකකරුවන් 17 දෙනාගෙන් 14 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
 
මෙහි සැකකරුවකු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්’ බන්ධනාගාරය මගින් අද (13) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සැකකරු ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.