නීතිඥයෝ 350ක් අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිති


(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර අරගල භූමියේදී අද (22) අලුයම සිදුවූ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් නව දෙනා එක් අයකුට රුපියල් 10,000/=ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (22) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවලා  ඉදිරි දිනයේදී සැකකරුවන්ගේ ඇප අධිකරණයට තැන්පත් කිරීමට නියම කළ අධිකරණය, ඔවුන් පුද්ගලික ඇප මත මුදා මැරීමට ද මෙහිදී නියම කළේය.

මෙම සැකකරුවන් නවදෙනා අතර සිටි සැකකරුවන් දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන  අතර ඔවුන් දෙදෙනාටද අධිකරණයෙන් ඇප නියම විණි.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සරත් ජයමාන්න, රියෙන්සි අර්සකුලරත්න සහ උපුල් ජයසූරිය යන මහත්වරුන් ප්‍රමුඛ තුන්සිය පනහකට අධික නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සමග කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන්ද ඩයස්, සහකාර පොලිස් අධිකාරී විල්ලකවාඅරචිචි, කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.