
(නිමල කොඩිතුවක්කු)
අද වන විට මුදල් අමාත්‍යංශයේ ලේකම්, මුද්‍රණාලයාධිපති, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සියල්ල ජනාධිපතවරයා බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යත්, උත්තරීතර නීතියත් උල්ලංඝනය කරමින් මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරයා යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
නොච්චියාගම ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේද කීවේය.
“අද මුදල් අමාත්‍යංශයේ ලේකමුත්, මුද්‍රණාලයාධිපතිත්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිත්, ජනාධිපති බවට පත්ව තිබෙනවා. රටේ ව්‍යවස්ථාවත්,ජනතා පරමාධිපත්‍යත්, උත්තරීතර නීතියත් උල්ලංඝනය කරමින් මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරයායි.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීම සඳහා පොහොට්ටුවට පොරොන්දු 03ක් ලබාදුන්නා. තමාට පක්ෂපාතීව ඡන්දය ලබා දෙන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට හොඳ ආරක්ෂාවක්, ඔවුන්ගේ නිවෙස්වලට සිදුවූ හානිවලට වන්දි ලබා දීම සහ පාර්ලිමේන්තුවේ වාරය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව තිබීම එම පොරොන්දු තුනයි. එම පොරොන්දු තුන පමණක් මුල් කර ගෙන බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා ජනවරමක් නොමැතිව පොහොට්ටුවේ රූකඩයක් ලෙස අද කටයුතු කරමින් සිටිනවා.
තක්කඩි දේශපාලනයේ නියැලී මැතිවරණය කල් නොදමන ලෙස ජනවරමක් ජනතා විශ්වාසයක් නොමැති මේ ආණ්ඩුවට අපි අවධාරණය කරනවා. ජනතාවගේ මැතිවරණ අයිතියට අත තියන්නේ නම් එයට විරුද්ධව කොන්දේසි විරහිතව අපි පාරට බහිනවා.එමෙන්ම මෙම මැතිවරණ අයිතිය අහෝසි කිරීමට සහාය දුන් සියලු දෙනාම නීතිය හමුවට ගෙන ඒමට අපි කටයුතු කරනවා.
ජනතාව කබලෙන් ලිපට දමන ආණ්ඩුවේ දැන් තවත් කුමන්ත්‍රණයක නියැලෙනවා. මහබැංකුවේ මැදිහත්වීම තුළ විවිධ අවස්ථාවල දි ගොවිතැනට, කෘෂිකර්මාන්තයට, ව්‍යාපාරවලට දුන් සහන ණය අහෝසි කිරීමට අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් නව නීතියක් මගින් සූදානමක් පවතිනවා.
ඒ අනුව ආපදා අවස්ථාවල දී ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මහබැංකුවේ මැදිහත් වීම මත අඩුපොළියකට ලබා දුන් ප්‍රතිමූල්‍ය ණය නතර කිරීමට සූදානමක් පවතිනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාද කියා ආණ්ඩුවෙන් අපි විමසනවා. ගොවි ජනතාවට දුන් සියයට 7ක පොලී සහනාධාර ණය අහෝසි කිරීමේත් සැලසුමක් පවතිනවා.
නිදහස් දින උළෙලේ ජංගම වැසිකිළිවලට විශාල මුදලක් වෙන් කිරීමටත් ලෝකෙට පේන්න නිදහස් උළෙල සැමරීමටත් හැකි ආණ්ඩුවට ජනතාවගේ සර්වජන ඡන්ද බලය ලබා දෙන්න හැකියාවක් නොමැති තත්වයට පත්වෙලා.
මෙරට දශලක්ෂ සංඛ්‍යාත ජනතාව විශාල අරගලයක් සිදු කර රාජපක්ෂලාව ගෙදර යැවූවත් ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු වුනේ නැහැ. වෙනසකට සිදුවුනේ කපුටු පොහොට්ටු ගොඩට අලියෙකු එකතු වීම පමණයි. අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් ජනතාවට බදු පනවා, විදුලි බිල, ගෑස් මිල, ඉන්ධන මිල වැඩි කිරීම තුළින් තෘප්තියක් ලබනවා. මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් මූල්‍ය අපරාධ සිදු කළ අයට දඬුවම් දෙනවා වෙනුවට ජනතාවට දඬුවම් ලබාදීමට කටයුතු කරනවා.
රට ගොඩනැගීමේ වැඩපිළිවෙලේදී සමගි ජන බලවේගය පෞද්ගලික ව්‍යවසාය කෙරෙහි විශ්වාසය තබනවා. රට වැටී ඇගි ප්‍රපාතයෙන් යලි ගොඩනැඟිය හැක්කේ ඔවුන්ට බව අපි විශ්වාස කරනවා. තවත් සමහර පිරිසක් සියල්ලම රජයට කළ හැකි යැයි විශ්වාස කරනවා. එවැනි මිත්‍යාවන්ට නොරැවටෙන ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවල නතර කිරීමට මේ පළාත් පාලන මැතිවරණය තීරණාත්මකයි. එය ජය ගෙන මේ කුරිරු පාලනය නැවැත්වීමට අපි කටයුතු කරනවා.
හිටපු අමාත්‍ය. පී හැරිසන් මහතාද මේ අවස්තාවට එක්ව සිටියහ.


