නිරෝධායනයෙන් පැන ගිය කොස්තාපල් බීලා පාරේ වැටිලා


(ඉන්දිකා රාමනායක)

කළුතර  පොලිස්  අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන්  පැනගොස් බීමතින්   මාර්ගයේ වැටී සිටියදී සොයාගත්   පොලිස් කොස්තාපල්වරයා  වැඩ තහනමට ලක් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මොහු දැනට නිරෝධායන ක්‍රියාවලියේ නිරත වන බවත් එම නිරෝධායන කටයුතු අවසන් වූ පසු  නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන බවද  අජිත් රෝහණ මහතා කියා සිටියේය.

දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් ඉදිරියේ ඔහුට  නිරෝධායන නීතිය හා  දණ්ඩ නීති සංග්‍රහයට යටතේ  නඩු පවරන බවද අජිත් රෝහණ මහතා කීය.

90,000 ක් සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්  එක් සාමාජිකයකු  මේ ආකාරයෙන් කටයුතු  කිරීම  අනුමත නොකරන බවද හෙතෙම කීය. මෙම පොලිස් කොස්තාපල්වරයා මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරෙකි.

ආපනශාලාවේ කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමඟ  මිනුවන්ගොඩ පොලිසියේ 85 දෙනෙක් නිරෝධානයට යොමු කර සිටියදී සැකකාර කොස්තාපල් ඉන් පැනගොස් ත්‍රිරෝද රථයකින් කළුතර නගරයට පැමිණ  මත්පැන් පානය කර නිවසක් අසළ වැටී සිටියදී ඉකුත් (9) සොයාගෙන තිබිණි.