(ඩයනා උදයංගනී)
දිවයිනේ නිරිතදිග සහ බස්නාහිර කොටස්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩිතද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. සෙසු පළාත්වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව ද ඔහු පැවසීය.
මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා කීවේය.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නිරතවන පිරිස් අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

