නියං රකුසා පළාත් හතරකට බැට දෙයි


(සුජිත් හේවාජුලිගේ )

දැඩි නියඟය හේතුවෙන් උතුර,නැගෙනහිර,වයඹ සහ සබරගමුව පළාත්වල පවුල් විසි හත් දහස් නවසිය හැත්තෑ හතක් (27977) දැඩි බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ පිරිසට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව අසූනව දහස් හයසිය අනූපහකි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව (ඊයෙ (5) නිකුත් කෙරුණු) නියගයෙන් වැඩිම බලපෑමට ලක්ව සිටින්නේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල ජනතාවයි. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල 69113 දෙනෙක් බලපෑමට ලක්ව සිටිති. එම පිරිසට ඇතුළත් වන පවුල් සංඛ්‍යාව 21714කි.

මේ අතර රටේ වාරි ජලාශවල තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පැවසුවේ මහා පරිමාණ වැව් 75 න් සහ මධ්‍ය පරිමාණ වැව් 3000න් සියයට 65 ක් පමණ නියඟය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවයි.

එම ජලාශවල ජල මට්ටම සියයට විසි හතක් දක්වා පහත බැස ඇතැයිද ඔහු සඳහන් කළේය.

ගොවීන්ට පොරොන්දුවූ ආකාරයට තවත් සති දෙකක් පමණ ජලය ලබාදීමට හැකියාව ඇති බවත් ඊට අමතරව ගොවීන් ඉල්ලන ජලය ලබාදිය නොහැකි බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.