නිදහස අනවශ්‍ය ලෙස භුක්ති වින්දොත් තත්වය යළිත් දරුණුවෙයි


(ඩයනා උදයංගනී)

ජනතාව අනිද්දා (1) සිට ලැබෙන නිදහස අනවශ්‍ය ලෙස භුක්ති විඳීමට ගියහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

මේ වන විට දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවීමක් ඇතත්, ඉදිරියේදී පාලනය ගිලිහී ගියහොත් රට යළිත් බරපතල අවදානමකට ගමන් කරනු ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා එහි වැඩිම වගකීමක් ඇත්තේ ජනතාවට බව ද සඳහන් කළේය.

දිනකට ආසාදිතයන් 1000ක් පමණ වාර්තා වීමත් බැරූරුම් තත්වයක් බව කී සමිත ගිනිගේ මහතා සිංහල අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ වන විට සිටියේ ආසාදිතයන් 100ත් 150ත් වැනි සංඛ්‍යාවක් බවත්, එම කාලයේදී ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීමෙන් ඉතා දරුණු තත්වයක් ඇතිවූ බවත් සියලු දෙනා මතක තබාගත යුතු යැයි ද කීවේය.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණවල ක්‍රමානුකූල අඩුවීමක් සැප්තැම්බර් මුල සිට දක්නට ලැබෙන බව කී ගිනිගේ මහතා මෙම තත්වය ළඟා කරගත්තේ ඉතා අපහසුවෙන් බවත්, සංචරණ සීමා, එන්නත්කරණය මෙන්ම ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම එයට හේතු වූ බවත් කීය.

ජනතාව එම සෞඛ්‍ය පුරුදුවලින් බැහැර වුණොත් ඉදිරිය යළිත් අවදානම් විය හැකි නිසා ඉදිරි සති හා මාස කිහිපය ඉතා තීරණාත්මක බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම, නිවසක යම් අයකුට රෝග ලක්‍ෂණ ඇත්නම් නිවසේ සියලු දෙනා නිවසට වී සිටීම රෝගයෙන් රට ආරක්‍ෂා කරගැනීමට ඉතා වැදගත් බව ද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

මේ වන විට සමස්ත ජනගහණයෙන් සියයට 53ක් එන්නත්කරණයට ලක්කර ඇතැයි කී වෛද්‍යවරයා ඉදිරි මාසයේදී එය සියයට 65ක් දක්වා වර්ධනය කරගත හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය මේ වන රට තුළ තිබෙන බවත් පැවසීය.